2026 ජගත් ඕසෝන් දින ජාතික සැමරුම ගම්පහ දී

“ගෝලීය සිසිලනය සඳහා එක්ව ක්‍රියා කරමු” (Global Action for a Cooler Planet)යන තේමාව පෙරදැරි කරගනිමින් සංවිධානය කළ 2026 ජගත් ඕසෝන් දින ජාතික…
1 Min Read 0 61

“ගෝලීය සිසිලනය සඳහා එක්ව ක්‍රියා කරමු” (Global Action for a Cooler Planet)යන තේමාව පෙරදැරි කරගනිමින් සංවිධානය කළ 2026 ජගත් ඕසෝන් දින ජාතික සැමරුම් උත්සවය ඊයේ (16) පෙරවරුවේ ගම්පහ දිස්ත්‍රික් ලේකම් කාර්යාලයේ ප්‍රධාන ශ්‍රවණාගාරයේදී පැවැත්විණි.

එක්සත් ජාතීන්ගේ සංවර්ධන වැඩසටහනේ ශ්‍රී ලංකාවේ නේවාසික නියෝජිත Azusa Kubota මහත්මිය සහ පරිසර අමාත්‍යාංශයේ ලේකම් කේ. ආර්. උඩුවාවල මහතාගේ ප්‍රධානත්වයෙන් මෙම සැමරුම් උත්සවය පැවැත්විණි.

උත්සවයේ ප්‍රධාන විද්වත් දේශනය පැවැත්වූ මොරටුව විශ්වවිද්‍යාලයේ තාක්ෂණ ආයතනයේ ජ්‍යෙෂ්ඨ කථිකාචාර්ය ආචාර්ය රුචිර විජේසේන මහතා, පෘථිවියේ ඕසෝන් වියන සුරැකීම මෙන්ම ගෝලීය උෂ්ණත්වය පාලනය කිරීම සඳහා විකල්ප හරිත තාක්ෂණයන් භාවිත කිරීමේ කාලීන අවශ්‍යතාව අවධාරණය කළේය.

මෙහිදී පරිසර අමාත්‍යාංශයේ වායු සම්පත් කළමනාකරණ සහ ජාතික ඕසෝන් ඒකකය විසින් සම්පාදනය කරන ලද පාලිත රසායනික ද්‍රව්‍ය හා ඒ ආශ්‍රිත උපකරණ හඳුනා ගැනීම, අධීක්ෂණය සහ පාලනය පිළිබඳ විශේෂ අත්පොත නිල වශයෙන් ශ්‍රී ලංකා රේගුව වෙත භාරදීම ද සිදු කෙරිණි.

ගම්පහ උද්භිද උද්‍යානයේ මහජන දැනුවත්භාවය ඉහළ නැංවීමේ අරමුණින් 2026ජගත් ඕසෝන් දින තේමාව රැගත් අඩි 10 × 10 ප්‍රමාණයේ කැනොපි ආවරණ 50ක් පරිත්‍යාග කිරීම ද මෙහිදී සිදු විය.

VTA, CGTTI, NYSC, NAITA සහ DTET යන ආයතනවල ශීතකරණ හා වායු සමීකරණ (RAC) ක්ෂේත්‍රයේ අවසන් වසර ආධුනිකයන් වෙනුවෙන් පැවැත්වූ “පරිසර හිතකාමී ශීතකරණ හා වායු සමීකරණ ආධුනික කාර්මික ශිල්පියා තේරීමේ තරඟය – 2026” හි ජයග්‍රාහකයන් වෙත ත්‍යාග හා සහතිකපත් ප්‍රදානය කිරීම ද සිදු කෙරිණි.

1987 මොන්ට්‍රියල් සන්ධානය සහ එහි කිගාලි සංශෝධනය යටතේ ශ්‍රී ලංකාව විසින් ක්‍රියාත්මක කරනු ලබන වැඩපිළිවෙළ තවදුරටත් ශක්තිමත් කරමින්, 2030 වන විට HCFC ආනයනය මුළුමනින්ම අවම කිරීමටත්, 2045 වන විට HFC පරිභෝජනය 80%කින් අඩු කිරීමටත් ගෙන යන ක්‍රියාමාර්ග සඳහා මෙම වැඩසටහන වැදගත් පියවරක් ලෙස සැලකේ.

මෙම අවස්ථාවට රාජ්‍ය නිලධාරීන්, පාරිසරික විද්වතුන්, පාසල් හා විශ්වවිද්‍යාල සිසුන්, ගුරු පුහුණුලාභීන් මෙන්ම වෘත්තීය තාක්ෂණවේදීන් ඇතුළු විශාල පිරිසක් එක්ව සිටියහ.

Manager

Leave a Reply

Your email address will not be published. Required fields are marked *