“ප්‍රජා ශක්ති” වැඩසටහන යටතේ ගාල්ල දිස්ත්‍රික්කයට සංවර්ධන ව්‍යාපෘති 938ක්

දිළිඳුකම තුරන් කිරීමේ අරමුණින් ක්‍රියාත්මක “ප්‍රජා ශක්ති” ජාතික වැඩසටහන යටතේ ගාල්ල දිස්ත්‍රික්කයේ රුපියල් මිලියන 1,134.76ක ප්‍රතිපාදන මත සංවර්ධන ව්‍යාපෘති 938ක්…
1 Min Read 0 43

දිළිඳුකම තුරන් කිරීමේ අරමුණින් ක්‍රියාත්මක “ප්‍රජා ශක්ති” ජාතික වැඩසටහන යටතේ ගාල්ල දිස්ත්‍රික්කයේ රුපියල් මිලියන 1,134.76ක ප්‍රතිපාදන මත සංවර්ධන ව්‍යාපෘති 938ක් ක්‍රියාත්මක වන බව ග්‍රාමීය සංවර්ධන, සමාජ ආරක්ෂණ හා ප්‍රජා සවිබලගැන්වීම් අමාත්‍ය ආචාර්ය උපාලි පන්නිල මහතා පැවසීය.

අමාත්‍යවරයා මේ බව පැවසූයේ ඊයේ (16) ගාල්ල දිස්ත්‍රික් ලේකම් කාර්යාල පරිශ්‍රයේ පැවති “ප්‍රජා ශක්ති” ජාතික වැඩසටහනේ ගාල්ල දිස්ත්‍රික් ප්‍රගති සමාලෝචන රැස්වීමේදීය.

“පොහොසත් රටක් – ලස්සන ජීවිතයක්” ප්‍රතිපත්ති ප්‍රකාශයේ “ආරක්ෂිත සමාජයක් – සුපෝෂිත ජාතියක්” පරිච්ඡේදයේ සඳහන් දිළිඳුකම තුරන් කිරීමේ අරමුණ අනුව, ග්‍රාමීය සංවර්ධන, සමාජ ආරක්ෂණ හා ප්‍රජා සවිබලගැන්වීම් අමාත්‍යාංශය සහ ප්‍රජා ශක්ති ජාතික මහලේකම් කාර්යාලය එක්ව මෙම වැඩසටහන ක්‍රියාත්මක කරනු ලබයි.

2026 අයවැයෙන් වෙන් කර ඇති රුපියල් මිලියන 25,000ක ප්‍රතිපාදන යටතේ දිවයිනේ සෑම ග්‍රාම නිලධාරී වසමකම එක් සංවර්ධන ව්‍යාපෘතියක් හෝ ක්‍රියාත්මක කිරීම මෙහි අරමුණ වේ.

2026 ජූලි 31 වන විට දිවයින පුරා රුපියල් මිලියන 22,425ක වටිනාකමකින් යුත් සංවර්ධන ව්‍යාපෘති 15,646ක් ආරම්භ කර ඇති අතර, ඉන් ව්‍යාපෘති 8,323ක් ජීවනෝපාය සංවර්ධන ව්‍යාපෘති වන අතර, ව්‍යාපෘති 7,323ක් යටිතල පහසුකම් සංවර්ධන ව්‍යාපෘති වේ.

ගාල්ල දිස්ත්‍රික්කයේ ක්‍රියාත්මක ව්‍යාපෘති 938 අතරින් ඉදිකිරීම් ව්‍යාපෘති 480ක් සහ ඉදිකිරීම් නොවන ව්‍යාපෘති 458ක් වේ. එම ව්‍යාපෘති මඟින් සෘජු ප්‍රතිලාභීන් 49,201ක් සහ වක්‍ර ප්‍රතිලාභීන් 122,812ක් ආවරණය වන බවද මෙහිදී අනාවරණය විය.

ගාල්ල දිස්ත්‍රික්කයට අදාළ ව්‍යාපෘති නිෂ්පාදන ආර්ථිකය, ආහාර සුරක්ෂිතතාව, සැපයුම් ජාල ප්‍රවේශය, සමාජ පරිසරය, මානව සම්පත් සංවර්ධනය සහ රැකවරණය යන ප්‍රධාන අංශ හයක් යටතේ ක්‍රියාත්මක වේ.

මෙහිදී දැනට ක්‍රියාත්මක සංවර්ධන ව්‍යාපෘතිවල ප්‍රගතිය සහ පවතින ගැටලු පිළිබඳව සාකච්ඡා කෙරිණි. සියලු ව්‍යාපෘති කඩිනම් කර වසර අවසන් වීමට ප්‍රථම ජනතා අයිතියට පත් කිරීමට කටයුතු කරන ලෙස අමාත්‍ය ආචාර්ය උපාලි පන්නිල මහතා උපදෙස් ලබා දුන්නේය.

රාජ්‍ය මූල්‍ය විනය ආරක්ෂා කර ගනිමින්, යොදවන ප්‍රතිපාදන මඟින් උපරිම ප්‍රතිලාභයක් ජනතාවට සැලසෙන පරිදි සංවර්ධන ව්‍යාපෘති ක්‍රියාත්මක කරන ලෙසද අමාත්‍යවරයා අවධාරණය කළේය.

මෙම අවස්ථාවට ගාල්ල දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී තිලංක යූ. ගමගේ මහතා ඇතුළු රාජ්‍ය නිලධාරීහු පිරිසක් එක්ව සිටියහ.

Manager

Leave a Reply

Your email address will not be published. Required fields are marked *